ජාතීන්ට හිරිහැර කිරීමට ආණ්ඩුව ඉඩ නොතැබිය යුතුයි – ජාතික ෂූරා සභාව

බොදුබල සේනා සංවිධානය හා මියන්මාරයේ මුස්ලිම් විරෝධී 969 ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ එක්ව වැඩකටයුතු කිරීමට සැළසුම්කර ඇතැයි මෑතක දී කළ ප්‍රකාශය ජාතික ෂූරා සභාවේ දැඩි අවධානයට යොමුව තිබේ. බොදුබල සේනා සංවිධානය මඟින් සැප්තැම්බර් 28 දින කොළඹ දී සංවිධානය කළ සමුළුවකින් පසු අන්තවාදී සංවිධාන දෙකක් ඒකාබද්ධව කළ මේ නිවේදනය රටේ යහපත සඳහා නොවන්නක් බව ෂූරා සභාවේ විශ්වාසයයි.

මෙය රටේ දැනට සිදුකරගෙන යන ජාතිය ගොඩනැඟීමේ හා සහජීවනය උදාකර ගැනීමේ ක්‍රියාවලියට බාධාවකි. එමෙන්ම බොදුබල සේනා සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ ඔවුන් ඉන්දියාවේ සිටින මුස්ලිම් විරෝධී සංවිධාන සමඟ ද එකඟතාවන්ට එළඹෙන බවයි.

ආගමික හා වාර්ගික සමඟිය පළුදු කරන මෙවැනි සංවිධාන හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට ආණ්ඩුව වහා පියවර නොගතහොත් එය ජාත්‍යන්තර බලපෑම්වලට රට නතුවීමට දොර හැරීමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හා බෞද්ධ ආගමට කරන බරපතල හානියක් ද වෙයි.

ජාතික ෂූරා සභාව මේ පිළිබඳව මීට පෙර අවධාරණය කර සිටිය ද ආණ්ඩුව ඒ පිළිබඳව නිසි ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වී ඇත. මීට පෙර රට මුහුණදුන් ජාතිවාදී අර්බුදවලින් රටට ලැබුණේ හානිය හා විනාශය මිස අන් කිසිවක් නොවේ.

ව්‍යාජ ප්‍රකාශ කරමින් ආගමික ගැටුම් ඇතිකිරීමට මාන බලන මේ නව එකමුතුවේ ක්‍රියාකාරකම් මීට වඩා භයානක මෙන්ම දැඩි විනාශයක් ද ළඟාකර දිය හැක. ශුද්ධ වූ කූරානයට, මුස්ලිම් සිවිල් සමාජයට හා විශේෂයෙන්ම මුස්ලිම් ධර්මධරයින්ගේ ප්‍රමුඛතම සංවිධානය වන සංමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයට පහර ගැසීමට බොදුබල සේනා සංවිධානය බෞද්ධ සමුළුවක් යොදා ගැනීම බලවත් කණගාටුවට කාරණයකි.

මෙහිදී බොදුබල සේනා සංවිධානය සමාජයේ පිළිගත් ආචාර ධර්ම වන සාකච්ඡාව හා එකඟතාවයෙන් බැහැර වී ඇත. ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත බෞද්ධාගමේ ප්‍රවර්ධනය සඳහා වන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජාතික ෂූරා සභාවට කිසිඳු ගැටළුවක් නොමැත. එහෙත් ව්‍යාජ ප්‍රකාශ කරමින් ජාතිවාදී අරමුණු මුදුන්පත් කර ගැනීමට කරන උත්සාහයන් පිළිබඳ අපේ පැහැදීමක් නැත.

අති ගෞරවනීය මහා නායක හිමිවරුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ආගමික හා ජාතිභේද ඇතිකරන ක්‍රියාවලීන් රටතුළ ඇතිවීමට ඉඩ නොතබන ලෙසයි. සුළු ජාතීන් යටපත් කිරීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදී නොවන නීති විරෝධී ක්‍රියා තුළින් මේ වසරේ ජූනි මාසයේ අලුත්ගම දී ඇතිවූ සිද්ධිය වැනි ප්‍රහාර ඇතිවිය හැකි යැයි භීතියක් මුස්ලිම් ජනතාව තුළ ජනිත කිරීමට ගන්නා උත්සාහයන් මැඩ පැවැත්වීමට ආණ්ඩුවට දැඩි වගකීමක් තිබෙන බව අපගේ විශ්වාසයයි.

බෞද්ධ, හින්දු හා ක්‍රිස්තියානි ආගමික නායකයන් අතර සිටින නිහඬ බහුතරය ද මෙවැනි ක්‍රියාකාරකම් වෙත සිය අවධානය යොමු කළයුතු බව සභාව විශ්වාස කරයි. අස්වින් විරාතු හිමියන්ගේ මුස්ලිම් විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් මියන්මාරයේ සිය ගණන් මුස්ලිම්වරුන්ගේ ජීවිත හා දේපල අහිමි වූ බව අවිවාදාත්මක කාරණයකි.

ඔහු මුස්ලිම් විරෝධී ක්‍රියාවලට වැරැදිකරු වී වසර 7ක සිර දඬුවම් ලැබූවෙකි. ද්වේශය අවුස්සන ක්‍රියාවන් බුදු දහමට පටහැනිය. මුස්ලිම් ඇමැතිවරුන්, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය හා අනෙකුත් සංවේදී මුස්ලිම් ජාතිකයන් කළ ඉල්ලීම් නොතකමින් අස්වින් විරාතු හිමියන්ට කොළඹ සමුළුවට සහභාගි වීමට වීසා ලබාදීම සුළු ජාතිකයන්ගේ හැඟීම් නොසළකා හරින්නකි.

කොළඹ සමුළුවේ කථිකයින් නැවතත් මුස්ලිම් ජනතාවට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කරන ලදී. බොදුබල සේනා සංවිධානය වසර දෙකක් තුළ ගෙනයන මේ හිරිහැර කිරීමේ ක්‍රියාවලියේ මෙය ප්‍රධාන අංගයක් වනවා මෙන්ම එය ඔවුන්ගේ උපාය මාර්ගික මතය ද වෙයි. එහිදී කළ ප්‍රකාශ ඉස්ලාම් ආගම හා ජනතාව ගැරහීමට ලක්වන ආකාරයේ ඒවා මෙන්ම ඔවුන්ට එරෙහිව බෞද්ධ හා අනෙක් රටවැසියන්ගේ වෛරය උපදවන ආකාරයේ ඒවා වෙයි.

බොදුබල සේනා සංවිධානය විසින් සිදුකරන බොහෝ ප්‍රකාශ ද්වේශ සහගත මෙන්ම ජනතාව කුපිත කරවන සුළු ඒවා වෙයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේවාට එරෙහිව දිගටම කටයුතු නොකිරීම ඉතා අසෝබනය. කොළඹ සමුළුවේ දී මුද්‍රණය කර බෙදාහැර තිබු බොදුබල සේනා සංවිධානයේ සමහර යෝජනාවල අරමුණ උග්‍ර ජාතිභේද වාදයක් තුළ රටේ දේශපාලන අනාගතය රෙජිමේන්තුකරණය කිරීයි.

මෙම යෝජනා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ තිබිය යුතු ප්‍රධාන අත්තිවාරමක් වන දේශපාලන පක්ෂ ක්‍රමයට තර්ජනයක් වන ආකාරයේ ඒවා වෙයි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ මේ ගැන කතාකිරීමට දැන් කාලය එළඹ තිබේ. ජාතික ෂූරා සභාව සියලු දේශපාලන පක්ෂ නායකයින් හා මුස්ලිම් ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ බොදුබල සේනා සංවිධානය හා එවැනි අනෙකුත් සංවිධාන ගෙනයන නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට තීරණාත්මක ලෙස මැදිහත් වන ලෙසයි.

ඔවුන්ට බොදුබල සේනා සංවිධානයේ අන්තවාදයට එරෙහිව ප්‍රකාශයක් හෝ දෙකක් නිකුත් කිරීමෙන් පමණක් ඒ වගකීමෙන් ගැලවිය නොහැක. ආණ්ඩුවේ කොටස්කාරයින් ලෙස තීරණාත්මක වශයෙන් මේ ගැන ක්‍රියාකිරීමට අපොහොසත් වන්නේ නම් ඇමැතිවරුන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ ප්‍රමාද දෝෂයන්ගෙන් සිදුවන ප්‍රතිවිපාක වගකිම බෙදා ගැනීමට සිදුවනු ඇත..

මාධ්‍ය ඒකකය,
ජාතික ෂූරා සභාව.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares