තෙරුවණ් වෙනුවට අන්තවාදයේ පිහිට පැතීම

බෞද්ධ ජනතාව පීඩාවට පත් කරන වැඩ තවදුරටත් සිදු කලහොත් ඊළගට බලය ලබා දිය යුතු රජය කුමක්ද පාර්ලිමේන්තුවට යැවිය යුතු සහ යැවීමට සුදුසු නොමැති අය සම්බන්ධයෙන් තම සංවිධානය තීරණය කරන බව බොදු බල සේනා සංවිධානය පවසයි.එම සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (30)) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආසියානු කලාපය අන්තවාදයෙන් තොර සාමකාමි කලාපයක් බවට පත් කිරීම සදහා බෞද්ධ ,හින්දු ,මුස්ලිම් සහ කිතුණු සංවිධාන සියල්ලක්ම බොදු බල සේනා සංවිධානය වටා ඒකරාශි විය යුතු බවයි.

මේ මාධ්‍ය හමුව සදහා සහභාගිවු මියන්මාරයේ 969 සංවිධානයේ නිර්මාතෘ අෂින් විරතු සදහන් කලේ ලංකාවටද මුස්ලිම් වරුන්ගෙන් විවිධ බාධා පවතින බවයි.සියළු මුස්ලිම්වරු අන්තවාදයට කැමති නොමැති බවත් සුළු පිරිසක් අන්තවාදින් ලෙස කටයුතු කරන බව විරතු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ලේ පිපාසයෙන් සිටින අෂින් විරතුලා සම්බන්ධ කරගෙන බොදු බල සේනාව රගන මේ රංගනයේ බලපෑම සියළු දේනාටම ඉදිරියේ බලා ගත හැකිය.පංචසීලයවත් නිසි පරිදි රැකීමට නොදන්නා ඥානසාර වැනි භික්ෂුන්ලා නිසා රටේ බෞද්ධ ජනයාගේ ඉදිරි අනාගතය එතරම් සුභවාදී නොවෙනු ඇති.

පාර්ලිමේන්තුවට යවන අය සහ යැවීමට නුසුදුසු අයත් පිහිටවිය යුතු ආණ්ඩුවත් තීරණය කල යුත්තේ රටේ ජනතාවයි.එය තීරණය කිරීම රටේ සංවිධානවල වගකීමක් නොවේ.වෛරි සහගත ප්‍රකාශ නිකුත් කරමින් බෞද්ධ දර්ශනයට පිටුපාමින් සිටින මෙවැනි භික්ෂුන් වහන්සේලා සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාව මීට වඩා බුද්ධිමත්ව මෙන්ම අවබෝධයෙන් කටයුතු කිරීම අතිශයින් වැදගත් වේ.

සිවුර පොරවාගත් තරමින් භික්ෂුන් වහන්සේ නමක් වීමට නොහැකි අතර තව තවත් අන්තවාදි ප්‍රකාශ සිදු නොකර බෞද්ධ දර්ශනයට අනූකූලව ජීවත්විය යුතු බව බලසේනාවේ චීවරධාරීන්ට මතක් කර දීමට කැමැත්තෙමු.එසේම විරතු ලංකාවට පැමිණ ඇතැම් මුස්ලිම් වරුන්ගේ තර්ජන පවතින බවද මේ මාධ්‍ය හමුවේදී සදහන් කලා.විරතු යනු මෙරට භික්ෂුන් වහන්සේ නමක් නොවන බව අප සියළු දෙනා දන්නා කාරණයයි.නමුත් යම් රටක් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදු කල හැක්කේ පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසුවයි.

විරතු මෙවන් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් අපට ඇත්තේ මහත් පිළිකුලකි.නමුත් විරතුට සාක්ෂියක් නොමැතිව මෙවන් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම තුළ විරතුගේ තත්වය සහ ඔවුන්ට ඕනෑවී ඇති කාරණය පිළිබදව අමුතුවෙන් කිව යුතු නැත.කිසිදු පදනමකින් තොරව මෙවන් ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ මෙවැනි භික්ෂුන් වහන්සේලාට අවශ්‍යව පවතින්නේ රට තුළ ජාතින් අතර අසමගිය අවුළුවා කාලකණ්නි තෘප්තියක් ලැබීම බවයි.

පසුගියදා බොදු බල සේනාවේ මහ සග සමුළුව පැවති දිනයේදී විරතු තමන්ට ලංකාවට පැමිණීම සදහා වාතාවරණයක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂට සිය ස්තූතිය පල කලා.යුද්ධය පැවති කාල සීමාවේදී මේ රට ලේ විලක් බවට පත්වන විට ඇතැම් දේශපාලන නියෝජිතයන් සිදු කලේ ඒ හරහා තමා වටා ජනතාවගේ අනුකම්පාව දිනා ගනිමින් ඡන්ද එක් රැස් කිරීමයි.

අපට ඇති ගැටළුව වන්නේද මෙවන් භික්ෂුන් වහන්සේලාට මෙවන් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඉඩ කඩ ලබාදී රටේ පාලකයන් බිහිරන්සේ බලාගෙන ඉන්නේ ඇයිද යන්නයි.රට තුළ ජාතිවාදි ගිනි දැල් අලුළුවා මොවුන් මේ බලාපොරොත්තු වන්නේ ඒ හරහා බහුතර ජනයාගේ ඡන්දය ලබා ගැනීමටයි.ඊට එරෙහිව නැගි සිටීම රටේ ජනතාවගේ යුතුකමක් වේ.

-lankanewsalert-

3

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares