මොකද්ද මේ ජාතික සූරා සභාව

1956 එස්. ඩබ්ලිව් .ආර්. ඩි බණ්ඩාරනායක සිදු කළ දේශපාලන විප්ලවයේ පුරෝගාමියෙකු ලෙස හිටපු අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය බද්යුදීන් මහමුද් සඳහන් කළ හැක . 1960 රජයත් 1970 රජයේත් ඔහු අධ්‍යාපන හා සෞඛ්‍ය අමත්‍ය ධූර දැරිය .ඔහුගේ පුතා වන තාරික් මහමුද් ගැන කතා බහට ලක් වන්නේ ඔහු සුරා සභාවේ සභාපති නිසාය .මේ ජාතික සූරා සභාවේ සභාපති තාරික් මහුමඩ් සමඟ කළ සාකච්ඡාවකි .

ප්‍රශ්නය – මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කළහොත් ?

පිළිතුර – ඔව්. මම ජමුදීන් මහුමඩ් තාරික් .මම විද්‍යාපති (MSc) ගෞරව උපාධිය ලබාගෙන තියනවා . මගේ පියා 1970 -77 කාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ අධ්‍යාපන ඇමති වූ අචාර්ය බද්යුදීන් මහ්වුඩ් මහතායි .මම වැඩියෙන්ම ආගමික කටයුතුවල නියැලී සිටියා . දැනුත් බොහෝ දුරට ආගමික කටයුතුවල නියැලෙනවා.

ප්‍රශ්නය – ඔබේ පිය මේ රටේ කීර්තිමත් දේශපාලඥයෙක් . ඒ වගේම අධ්‍යාපන අමාත්‍ය වරයෙක් . ඔහු අමාත්‍ය ධූරය දරන කාලය තුල මෙරටට කළ සේවාව ගැන මතකය අවධි කළ හොත් ?

පිළිතුර – 1956 එස් ඩබ්ලිව්.ආර්. ඩ් බණ්ඩාරනායක මැතිතුමාගේ 56 පෙරළියේ වීරයෙක් ලෙස මේ පියාව හැඳින්වුවා . ඔහු ඒ විප්ලවයට ඒ තරම්ම වැඩ කළා. 1956 දී බණ්ඩාරනායක මැතිතුමා නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසුව මගේ පියත් හොරගොල්ල වලව්වට ගිහිල්ලා තියනවා. එතැනදී බණ්ඩාරනායක මැතිතුමා කියලා තියනවා මේ විප්ලවයේ වීරයා ඔබ තමයි අධ්‍යාපන ඇමති කියලා .මගේ පියාට මුලින්ම අධ්‍යාපන ඇමති ධූරය දීලා තියෙන්නේ 1956 දී බණ්ඩාරනායක අගමැති තුමා ඒ විදිහට . නමුත් පියා ඒ අමාත්‍ය ධූරය ප්‍රතික්ෂේප කරලා තියනවා .ඒ මුස්ලිම් සමාජයේත් එදා ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් නොලැබුණ හින්දයි .එදා බණ්ඩාරනායක මැතිතුමා සෑහෙන්න බල කර ඇතත් මගේ පියා අධ්‍යාපන අමාත්‍ය ධූරය භාර ගෙන නැහැ .පසුව තමයි මුස්ලිම් නියෝජනයක් අවශ්‍ය නිසා ඩි . ඒ එස් මරික්කාර් මැතිතුමාට විදුලි සංදේශ අමාත්‍ය ධූරය ලබා දීලා තියෙන්නේ .

ප්‍රශ්නය – ඉන් පස්සේ ඇතිවුන තත්ත්වය කුමක්ද ?

පිළිතුර – තාත්තා ඇමති ධූරය භාර නොගත් නිසා බණ්ඩාර නායක මැතිතුමා කනගාටු වෙලා තියනවා . පස්සේ බණ්ඩාර නායක මැතිතුමා මගේ පියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් කරලා යවලා තියනවා . 1959 වෙනකම් එජාප සංවිධානයේ තාත්තා හිටියා .ඉන්පස්සේ 1960 හා 1964 අතර කාලයේ පවතී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ රජයේ අධ්‍යාපන ඇමති වශයෙන් පත් වෙලා පසුව 1962 සිට සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වුණා.තාත්තා සෞඛ්‍ය ඇමතිවන කාලයේ රෝහල්වල වෛද්‍යවරු රෝහල් වෙලාවේ පෞද්ගලිකව බෙහෙත් දෙන්න පුරුදු වෙලා හිටියා.මගේ තාත්තා මේක නැවැත්තුවා. නවත්තාලා අද පවතින චැනල් ක්‍රමය හඳුන්වලා දුන්නා .වෛද්‍යවරු පෞද්ගලිකව බෙහෙත් දෙනවානම් එය සිය සේවා කාලයෙන් පසුව සිදු කළ යුතු බව එහිදී නියෝගයක් පැනවුවා .අදටත් ඒ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. 1960 හා 1970 -77 කාලයේ අධ්‍යාපන ඇමති වශයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විපලවයන් රැසක්ම මගේ පියා සිදු කළා.

එහිදී කළ පළමුවැන්න තමයි විශ්ව විද්‍යාල ප්‍රවේශය ලකුණු මට්ටම දිස්ත්‍රික් මට්ටමෙන් හඳුන්වා දීම. එමගින් දුෂ්කර ප්‍රදේශවල ජිවත් වන අඩු අදායම් ලාභී දරුවන්ට වරප්‍රසාද අඩු දරුවන්ට අඩු ලකුණු ලබා ගත්තත් විශ්ව විද්‍යාලවලට යන්න පුළුවන් වුණා . එහෙම ගිහින් ඉගෙන ගත්තු විශාල පිරිසක් ඉන්නවා. එදා ඒකට විශාල පිරිසකගෙන් විරෝධය එල්ල වුණා. නමුත් අදත් ඒක ක්‍රියාත්මක වෙනවා. කිසිම රජයක් ඒක වෙනස් කලේ නැහැ . ඒ තීරණය නිසා සිසුන් විශාල පිරිසක් විශ්ව විද්‍යාල වලට ගිහින් තියනවා .මට හොඳ සිද්දියක් මතක් වෙනවා. මම වරක් ගමන් බලපත්‍රයක් ඉක්මනින් ගන්න ඕන වෙලා මග මිතුරෙක් එක්ක ආගමන විගමන කාර්යාලයට ගියා .මගේ මිතුරා ඇතුලට ගිහින් මහත්තයෙකුට කිව්වා හිටපු අධ්‍යාපන ඇමතිතුමාගේ පුතා ඇවිත් ඉන්නවා එතුමාට ඉක්මනින් ගමන් බලපත්‍රයක් ගන්න අවශ්‍ය වෙලා කියලා.ඒ මහත්තයා මන් ළඟටම ඇවිල්ලා කිව්වා ඔබ තුමාගේ පියා නිසයි මම මෙතනට ආවේ කියලා ඒ වෙලාවේ මට මගේ තාත්තා ගැන ආඩම්බරයක් ඇති වුණා.

අනෙක් කාරණය තමයි 1980 රජයෙන් පැරදුනා.පස්සේ 1988 දී ජනාධිපතිවරණය ඡන්ද සටන පෙරමුණේ ඉඳලා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවූවා. ඒ වගේම අසු ගණන් වල මුස්ලිම් ජනතාව වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමගත් සාකච්ඡා කළා .සර්ව පාර්ශික සමුලුවටත් සහභාගී වුණා.

ප්‍රශ්නය – ඔබේ පියා ප්‍රබල දේශපාලඥයෙක් වුවත් ඔබේ පවුල ගැන සමාජය එතරම් දන්නේ නැහැ . ඔබේ නම වුනත් මෑතකදී කතා බහට ලක් වන්නේ මෑතක ඇතිවී තියන ජාතික “සූරා”සභාව කියන සංවිධානය නිසියි . ජාතික සූරා සභාවේ සභාපති ඔබයි. මොකද්ද ඔය ජාතික සූරා සභාව කියන්නේ ?

පිළිතුර – මම මුලින්ම කියන්න ඕන සුරා සභාව කියන්නේ සංවිධානයක් නොවෙයි . සුරා සභාව කියන්නේ සාකච්ඡා සභාවක් පමණයි . මුස්ලිම් ජනතාවට ඇතිවන ප්‍රශ්නවලදී ක්‍රියා කරන්නේ කොහොමද කියලා ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වෙන සංවිධාන සහ විද්වතුන් එක රස කරලා තමයි සූරා සභාව පිහිටවලා තියෙන්නේ .හලාල් ප්‍රශ්නය සමඟ පසුගිය කාලයේ මුස්ලිම් සමාජය හමුවේ ඇති වූ ගැටළු මෙවන් සභාවක අවශ්‍යතාව මතු කළා.

ප්‍රශ්නය – සූරා සභාවෙන් ක්‍රියාත්මක වන්නේ මොනවගේ වැඩ පිළිවෙලක් ද ?

පිළිතුර – මම මුලින්ම කිව්වා මගේ ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන මුස්ලිම් සංවිධානය සහ විද්වතුන් ඒකරාශී කරලා තමයි මේ සූරා (සාකච්ඡා ) සභාව පිහිටුවා තියෙන්නේ .අපි කරන්නේ යම් කරුණක් සම්බන්ධයෙන් සියලු සංවිධානවල සාමාජිකයන් ඒක රාශි කර ඒ ගැන සාකච්ඡා කර උපදෙස් ලබා දීමයි .සාකච්ඡා කිරීම හොඳ දෙයක් නේ. සාමාන්‍යයෙන් අපි ගෙදරක පවුලක වුනත් සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. තම ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා . ඒ වගේම තමයි අපි කරන්නේ එතකොට අපි තනි තීරණයක් ගන්නේ නැහැ .හැඟීම්වලට වහල් වෙලා තීරණ ගන්නේ නැහැ .සාකච්ඡා කරලා තීරණයක් ගන්න කියන ඒක අපට අපේ ආගමේත් උගන්වන දෙයක් .

ප්‍රශ්නය – ජාතික සූරා සභාවට එල්ලවන තවත් චෝදනාවක් තමයි ඔබේ සංවිධාන විදේශීය අන්තවාදී සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වන බව ඒ ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ ..?

පිළිතුර – මේ වගේ සභාවක අවශ්‍යතාව ඇති වුණේ පසු ගිය කාලයේ ඇති වූ ගැටළු කාරී තත්ත්වය නිසයි .අපි මේ සභාව පිහිටුවලා තියෙන්නේ මුළුමනින්ම ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන දේශීය මුස්ලිම් සංවිධානවල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් .මේ සභාවට කිසිම ආකාරයකින් විදේශ සම්බන්ධතා නැහැ .ඒ ගැන සියලු දෙනා දන්නවා . අපේ රටේ බුද්ධි අංශය ඉතා තියුණු බුද්ධි අංශයක් .ඔවුන්ට හොරෙන් ලංකාවේ එහෙම දේවල් වෙන්නේ නැහැ .මෙහෙ අන්තවාදීන් ඉන්නවාය ත්‍රස්තවාදීන් ඉන්නවාය කියන ඔක්කොම ප්‍රබන්ධ .ඒ ගැන ආරක්ෂක අංශ හොඳින්ම දන්නවා. ඒ ගැන ඔවුන් ප්‍රසිද්ධියේ කියලත් තියනවා. අපි කියන්නේ අන්තවාදීන් හෝ ත්‍රස්තවාදීන් මෙහෙ ඉන්නවා කියලා සැකයක් තියනවානම් ආරක්ෂක අංශවලට පොලිසියට කියන්න . එහෙම නැතුව ප්‍රකාශ නිකුත් කරන එකේ තේරුමක් නැහැ . අපේ සභාවේ සාමාජිකයනට දේශපාලනය කරන්න බැහැ.යම් කෙනෙක් දේශපාලනය කරනවානම් සභාවෙන් ඉවත් වෙලයි කරන්න වෙන්නේ.

ප්‍රශ්නය – පසුගිය දිනවල බේරුවල හා අලුත්ගම ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් සූරා සභාව මොනවගේ ක්‍රියාවන්ද අරගෙන තියෙන්නේ?

පිළිතුර – අලුත්ගම , බේරුවල , ඇති වූ සිද්ධීන් ඉතාම අවාසනාවන්ත සිද්ධීන් සමුදායක් . අපි ඒ පිළිබඳව දැඩි ලෙස කණගාටුවට මෙන්ම දුකට පත් වෙනවා . ඔය සිද්ධීන් සියල්ල ආරක්ෂක අංශවලට වලක්වා ගන්න තිබුනා කියලයි අපි හිතන්නේ . ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙද්දී රංචු ගැසීම වලක්වන්න තිබුනා .කොහොම වුනත් වුනදේ දැන් වෙලා ඉවරයි . ඉන් පස්සේ මේවගේ දේවල් නොවන්න අවශය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා .අපි වැඩපිළිවෙල අලුත්ගම සිද්ධියට පෙරම ආරම්භ කරලයි තිබුනේ .ඒ සඳහා වැඩසටහන් දෙකක් කුරුනෑගල හා මහනුවර පැවැත්වුවා . නමුත් අලුත්ගම සිද්දියත් එක්ක ඒක ඇන හිටියා.

-ඉරිදා ලංකාදීප පුවත්පතේ උපුටා ගන්නා ලදී-

10526068_1509326245946726_3622932427142784611_n

10563019_1509326242613393_3245682339556269381_n

10559770_1509326222613395_2674818302552655790_n

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares