මානවහිතවාදී මුහම්මද් නබිතුමාණෝ

අඳුරු ලෝකයක අතපත ගාමින් සිටි අරුතක් නැති ජීවිතයක් ගත කරමින් සිටි මානවයා තිරිසනෙකුව සිටි අවධියක මනුෂ්‍යත්වයට පණපොවමින් මුහම්මද් නබි තුමා ලොවපුරා ආලෝකය විහිදුවීමේ පුරෝගාමියා එවක ලොවපුරා වහල් වෙළඳම දරුණූ ලෙස සිදුවෙමින් තිබුණි. එම වහල් වෙළඳමට එරෙහිවූ නබි තුමා ඉතාමත් සූක්ෂම ලෙස වහලූන් නිදහස් කිරීමට කටයුතු සැලසුම් කළේ නිහඬ විප්ලවයකිනි. නිදහස ලබන වහලූන් නායකයන් බවට පත්වූහ. ඒ අතර කාලයක් වහලෙකුව සිටි බිලාල්තුමා වැදගත් වෙයි. මුහම්මද් නබිතුමාගේ ඉගැන්වීම වූයේ කිසිඳු පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට වඩා ජාතිය අනුව කුළය අනුව වර්ගය අනුව උසස් වන්නේද හෝ පහත් වන්නේද නොවන බවයි. සමාජ තුළ සෑම මිනිසෙකුටම සමාන අයිතියක් ලැබිය යුතුබවට නබිතුමා දේශනා කළහ. මිනිසුන් ලෙස පවා නොසිතා වහලූන්ගෙන් වැඩගැනීම හා ඔවුන්ට හිරිහැර කිරීමට එරෙහිවූ නබි තුමාට සහය වීමට එවක සිටි වහලූන් වැල නොකැඩී එක්වූහ. එහි ප්‍රතිපලයක් ලෙස අරාබිකරයේ අමානුෂික වහල් ක්‍රමය බිඳ වැටුනි.674_quran

මුහම්මද් නබි තුමා දියත් කළ තවත් සටනක් වූයේ කාන්තා විමුක්ති සටනයි. ගැහනු දරුවෙකුගේ උපත තමන්ට අගෞරවයක් හා ශාපයක් ලෙස සැළකූ එකල මුග්ධ ජනයෝ උපදින බිලිඳ ගැහැනු දරුවෙකු නම් පණපිටින්ම වළදැමීමට තරම් ගල් සිත් ඇති තිරිසන් ගති ඇත්තන් වූහ. එහෙත් වැඩි කල් නොගොස් කාන්තාවගේ ජීවන අයිතිය දිනාදීමට මුහම්මද් නබිතුමාට හැකිවිය. එතැනින් නොනැවතී එවක හුදු ලිංගික භාණ්ඩයක් ලෙස සැළකූ කාන්තාවට උසස් ගෞරවනීය ස්තානයක් ලබාදුන්නේය. යුරෝපයේ පවා 19වන සියවස දක්වාම කාන්තාවට නොතිබුණු දේපල අයිතිය 7වන සියවසයේදීම නබිතුමා කාන්තාවන්ට දිනා දුන්නේය. අරාබි කරයේ මුහම්මද් නබිතුමාට පෙර පැතිර තිබුණු ආගම් මගින් කාන්තාව අපිරිසිදු පාපකාරී පාර්ෂවයක් ලෙස සළකද්දි නබිතුමා කාන්තාවගේ මනුෂ්‍යත්වයට ලබාදිය යුතු වටිනාකම දිනාදුන්නේය.

පර්සියාව හා රෝමය දියත්කර තිබූ කුරිරු අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයට තර්ජනය කිරීමට නබිතුමාට හැකිවිය. ආසියානු අප්‍රිකානු රටවල් ආක්‍රමණය කර අමානිෂික ලෙස පාලනය කරමින් සිටි අධිරාජ්‍යවාදීන්ට එරෙහිවූ මුහම්මද් නබිතුමා ඇතුලූ පිරිසට අධිරාජ්‍යවාදීන් බියවූහ. රෝම හා පර්සියානු හමුදා සෙබලූන් පවා තම හෘදසාක්ෂියට එකඟව අධිරාජ්‍යවාදය අතහැර විමුක්ති සටනට නබිතුම සමඟ පෙළගැසුනාහ. රෝමය හා පර්සියාව අතහැර නබිතුමා ප්‍රමුඛ කණ්ඩායම සමඟ එක්වී අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණය යටතේ තිබුණි රාජ්‍යයන් මුදවා නිදහස් කළේය. අවසානයේ රෝමය හා පර්සියානු අධිරාජ්‍යයන් බිඳ වැටෙන විට ලක්ෂ සංඛ්‍යාත ජනයා නිදහස බුක්ති වින්දහ.

මුහම්මද් නබිතුමා ගෙනගිය මානවීය මෙහෙයුමට එරෙහිව වහල් හිමියන් අධිරාජ්‍යවාදීන් හා මානවවිරෝධී කුහකයින් පෙළගැසුනහ. ඔවුන් මුහම්මද් නබිතුමාට කෙනෙහිලිකම් කළහ වදදුන්හ. මඟ රැකහිඳ පහර දුන්හ. ගල්ගැසූහ. විවිධාකාරයෙන් බාධා කළහ. ඒ කිසිම අවස්ථාවක නබිතුමාණන් ඔවුනට ප්‍රතිප්‍රහාර දීමට හෝ බැණවැදීමට ඉදිරිපත් නොවූහ. එතුමා සතුරන්ට තම කරුණාවන්තභාවය දැක්වූ නිසාම සතුරන්ගේ සතුරුකම මිතුරුකමට පරිවර්ථනය විය. මෙලෙස දිනපතා තමන් මඟරැක සිට බාධා කරන තැනැත්තෙක් තවදුරටත් බාධා කිරීම එක්වරම නැවතුන බැවින් ඒ පිළිබඳව සොයා බැලු මුහම්මද් තුමාට එම තැනැත්තා මරණයට පත්ව ඇතිබව අසන්නට ලැබුණි. එහෙයින් එම තැනැත්තාගේ මරණින් මතු දිවිය වෙනුවෙන් ප්‍රාර්ථනා කළහ.

අනාථයින් වැන්දඹුවන් වහලූන් ආබාධිතයන් සම්බන්ධව මානුෂීයව කටයුතු කළ යුතු ආකාරය මුහම්මද්් තුමාණෝ පෙන්වා දුන්හ. අනාථයින් සම්බන්ධ කටයුතු කිරීම පිළිබඳව බැරෑරුම් ලෙස අවවාද කළහ. වැන්දඹුවන් ආරක්ෂා කිරීමට ඔවුන්ට ජීවත්වීම සඳහා පහසුකම් සළසන ලෙසටත් ඉැන්වූහ. මහල්ලන් ආබාධිතයන් සම්බන්ධව මානුෂීයව කටයුතු කිරීමටත් මඟපෙන්වූහ.

සහජීවනය එකමුතුකම සාමය එමක අභිප්‍රාය කොටගත් මුහම්මද් නබිතුමාණෝ වෙනත් ආගමිකයින් සමඟ සුහඳව ගණුදෙනු කළහ. ඔවුන්ට ගෞරව කළහ. ඔවුන්ට අනතුරක් සිදුවූ විට සහය දුන්හ. ඔවුන්ට ආරක්ෂාව සැලැස්වූහ. ඔවුන්ගේ දුකේදී දුක්වූහ. සතුටේදි සතුටු වූහ. සෑම විටම ඔවුන්ට යහපත පැතූහ. කලහකාරී ලෙස හැසිරිනු අය සමඟ පවා කාරුණිකව ගණුදෙනු කළහ. වරක් වෙනත් ආගමිකයෙකුගේ මළ සිරුරක් නබිතුමා ඉදිරියෙන් රැගෙන යනවිට නබිතුමා හිඳසිටි තැනින් නැගී සිට ආචාර කළහ. එවිට නබිතුමාගේ මිතුරන් අපගේ නායකතුමණි එම මළ මිනිය වෙනත් ආගමිකයෙකුගේ යැයි පවසද්දි නබිතුමා පිළිතුරු වශයෙන් පැවසුවේ ඔහුත් මිනිසෙකු බවයි. මේ අයුරින් නබිතුමා මනුෂ්‍යත්වයට ප්‍රමුඛත්වය ලබාදුන්හ. මේ ආකාරයට සාමකාමී සහජීවනයෙන් යුතු සමාජයක් නිර්මාණය කිරීමට හැකි විය.

මුහම්මද් නබිතුමාගේ කාලයේ බරපතල ලෙස පැතිර තිබූ තවත් සමාජ ගැටලූවක් වූයේ කුල හා ගෝත්‍රවාදයයි. නමුත් කුල සමාජ ක්‍රමය බිඳ දමා සියලූදෙනාම සමානබව සෑම අයෙකුටම ඒත්තු ගැන්වූහ. වර්ණ භේදය ජාති භේදය කුල භේදය ගෝත්‍ර භේදය වර්ග භේදය සහමුලින්ම උගුලා දමමින් කලූ නීග්‍රෝ ජාතික තැනැත්තෙකුට ශුද්ධ මක්කම දේවස්ථානයේ වැදගත්ම තනතුරක් පිරිනැමූහ. එම`ගින් කිසිඳු භේදයකට මින් ඉදිරියේදී ඉඩක් නැති බව සන්නිවේදනය කළහ.

දුප්පතුන් සම්බන්ධව සාධාරණ ලෙස කටයුතු කරන ලෙසත් ධනවතුන් දේපල වලින් කොටසක් දුප්පතුන් හිමි වන බවත් එය දුප්පතුන්ට අනිවාර්යයෙන්ම ලබා දියයුතු බවත් ඉගැන්වූහ. අසීමිත ලෙස මුදල් රැස්කරනවා වෙනුවට දුප්පතුන්ට නොමසුරුව උපකාරවන (සකාත් හෙවත් දුගී බද්ද) ලෙස ඉගැන්වූහ. ශ්‍රමය සූරාකෑමට විරුද්ධ වූ මුහම්මද් නබිතුමාණෝ කම්කරුවන්ට සාධාරණය ඉටුකරන මෙන් පෙන්වා දුන්හ. නබිතුමාගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් වන්නේ කම්කරුවාගේ දහදිය වේලෙන්නට පෙර ඔහුට හිමි වේතනය අඩුවකින් තොරව ලබා දිය යුතුයි යන්නයි. මේ අයරින් සමාජ සත්වයෙකු ලෙස ජීවත් වන මිනිසා සෑම අවස්ථාවකම මනුෂ්‍යත්වයට ගරුකරමින් මානවීය ලෙස ජීවත් විය යුතු බව සිය ජීවිතයෙන් ප්‍රායෝගිකව මුහම්මද් තුමාණෝ පෙන්වා දුන්හ.

-සකීෆ් එස්. එම්. එම් විසිනි-

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares